මාධ්‍ය සාක්ෂරතාව





                                          මාධ්‍ය  සාක්ෂරතාව යන ‍යෙදුම අද වන විට සුවිශේෂි වැදගත්කමකින් සාකච්ඡාවට බදුන් වන මාතෘකාවකි.එනම් අසීමිතව වර්ධනය වෙමින් පවත්නා මාධ්‍ය කර්මාන්තය තුළ සමාජයේ පැවැත්ම සමබර කර ගැනීමට මාධ්‍ය සාක්ෂරතාව අත්‍යවශ්‍ය වීමයි.ලොව දියුණු රටවල් මේ සම්බන්ධයෙන් දක්වා ඇති අවධානය ඉහළ මට්ටමක පවතිතත්, තුන් වන ලෝකයේ රටවල් වන අපේ කලාපයේ රටවල් මේ සම්බන්ධයෙන්තවමත් නිසි උනන්දුවක් දක්වා නොමැත.එහෙත් දියුණු රටවල් භුක්ති විදින සෑම මාධ්‍යයක්ම මේ රටවල් ද අඩුවක් නැතිව පරිහරණය කරනු ලබයි.

                                            එමෙන්ම සාක්ෂරතාව යන්න මානසික,ආකල්පමය,සමාජ විද්‍යාත්මක සංකල්පයක් පමණක් නොව එය ඓතිහාසික සංකල්පයකි.මීට දශක ගණනාවකට ඉහතදී සාක්ෂරතා සංකල්පය අප වටහා ගත්තේ මුද්‍රිත භාෂා පරිහරණයට හා අවබෝධයට ඇති හැකියාව අනුවය.නමුත් වර්තමානයේ දී එය පුළුල් වූ ද, ගැඹුරු වූ ද පරාසයක් තුළ විහිදුණු සංකල්පයක් බවට පත් වී ඇත. ඒ අනුව අධ්‍යයතනයේදී බහුලවම සාකච්ඡාවට බ‍දුන් වී ඇත්තේ මාධ්‍ය සාක්ෂරතාව යන සංකල්පයයි.මෙයට ආසන්න සංකල්ප වශයෙන් තොරතුරු සාක්ෂරතාව,විඥාපන සාක්ෂරතාව,තොරතුරු සංස්කෘතිය,මාධ්‍ය සංස්කෘතිය,සංහතික මාධ්‍ය සාක්ෂරතාව,සංහතික මාධ්‍ය සංස්කෘතිය,මාධ්‍ය අධ්‍යාපනය,තොරතුරු නිපුණතාව,මාධ්‍ය නිපුණතාව ආදී සංකල්ප ද භාවිතා වේ.නමුත් බොහෝ විද්වතුන් අතර මෙම සංකල්පය භාවිතය සම්බන්ධයෙන් ඒකමතිකභාවයක් දක්නට නොමැත.නිදසුනක් ලෙස මාධ්‍ය අධ්‍යාපනය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? යන්න පිළිබදව පුළුල් කතිකාවතක් පවතින්නේය.
  
                                              මෙහිදී විඥාපන සාක්ෂරතාව හෝ තොරතුරු සාක්ෂරතාව හෝ යනු වඩාත් පුළුල් වු ද,ගතික වූ ද සංකල්පයක් වන අතර මාධ්‍ය සාක්ෂරතාව ඊට ඇතුළත් වන සංකල්පයක් ලෙස භාවිතා වේ.පොදුවේ ගත් කල සාක්ෂරතාව යනු මිනිසාගේ පැවැත්මට පාදක වන්නා වූ ද,ඊට බලපාන්නා වූ ද,යම් ක්ෂේත්‍රයක ස්වභාවය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබද ව පවතින විචාරාත්මක වූ ද,සංස්ලේෂණාත්මක වූ ද,නිර්මාණාත්මක වූ ද,ඇගයීම්ශීලී වූ ද අවබෝධයයි.මෙහිදී මාධ්‍ය සාක්ෂරතාව යනු මාධ්‍ය කියාවලිය තුළදී විවිධ ස්වරූපයෙන් ඉදිරිපත් කරන මාධ්‍ය පඨිත විශ්ලේෂණාත්මක වූ ද, සංස්ලේෂණාත්මක වූ ද, නිර්මාණාත්මක වූ ද,විචාරාත්මක වූ ද,අවබෝධතා ශක්‍යතාව පමණක් නොව සමස්ත මාධ්‍ය ක්‍රියාවලිය පිළිබද ව පවතින්නා වු විිචාරාත්මක සවිඥානිකතාවයයි.මාධ්‍ය පරිහරණය සවිඥානික වූ ද,සකී්‍ය වූ ද,විචාරාත්මක වූ ක්‍රියාවලියක් බවට පත් කිරීම මාධ්‍ය සාක්ෂරතාවයයි.මේ අනුව මාධ්‍ය සාක්ෂරතාව යනු යථාර්තය පිළිබද ව මාධ්‍ය ගොඩ නගන ආකල්පය අවබෝධ කර ගැනීමයි.

                                              අද අප ජීවත් වන්නේ මාධ්‍ය සාක්ෂරතාව අන් කවරදාකටත් වඩා අවශ්‍ය යුගයකය.වර්තමානයේ සන්නිවේදන සහ මාධ්‍ය තාක්ෂණයේ වර්ධනය නිසා මිනිස් ජීවිතය තුළ තොරතුරු සන්නිවේදන මාධ්‍යයන්ගේ භූමිකාව සුවිශාල ලෙස වර්ධනය වූ අතර මානව ජීවිතයේ සියලු ක්ෂේත්‍ර එහි බලපෑමට පමණක් නොව එහි ආධිපත්‍යයට ද ලක් විය.විශේෂයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදයේ වර්ධනය සමාජය තුළ යහපත්,ධනාත්මක තොරතුරු මෙන්ම අයහපත් ඍණාත්මක තොරතුරු ද පැතිර යාමට හේතු විය.ඉතා මෑතක් වන තුරුම සමාජය තුළ තොරතුරු නිෂ්පාදනයේ හුවමාරුවේ බෙදාහැරීමේ සම්ප්‍රේෂණයේ ප්‍රමුඛ ආධිපත්‍යය පවත්වා ගෙන යන ලද්දේ පුවත්පත්,සගරා,ගුවන් විදුලිය,රූපවාහිනිය වැනි ජන මාධ්‍යය විසින් බව අප කවුරුත් දන්නා කරුණකි.නමුත් අද වන විට එම තත්ත්වය වෙනස් වී ඇති අතර නූතන මාධ්‍යයේ ආධිපත්‍යය අභියෝගයට ලක් වෙමින් නව මාධ්‍යය ඔස්සේ තොරතුරු නිිෂ්පාදනය,හුවමාරුව,ව්‍යාප්තිය,බහුලීකරණය වර්ධනය වෙමින් ඕනෑම පුද්ගලයෙකුට අන්තර්ජාලය මගින් ඕනෑම තොරතුරක් ලබා ගැනීම පමණක් නොව සිය අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව වර්ධනය වී ඇත.වර්තමානයේ අවශ්‍ය පමණටත් වඩා තොරතුරු මිනිසා සතුව පවතින අතර මානවයා තොරතුරු මත රදා පැවැත්ම අන් කවරදාකටත් වඩා ශක්තිමත් වී ඇත.

                                              වර්තමානයේ ජන මාධ්‍යය පුද්ගලයා වෙත තොරතුරු ඉදිරිපත් කිරීමේ මාදිලියක් වශයෙන් පමණක් නොව සමාජ කියාවලිය පාලනය කිරීමේ,නියාමනය කිරීමේ,හැසිරවීමේ යාන්තණයක් ලෙස වටහා ගැනීම සැබෑ මාධ්‍ය සාක්ෂරතාව වන්නේය.සමාජය තුළ ජන මාධ්‍යය තමා සතු වන සුවිශේෂි බලය යොදා ගනිමින් සමාජයෙහි අනෙක් සියලු දේ සිය බලයේ උපකරණ වශයෙන් භාවිතා කරමින් සමාජය මත සුවිශේෂි බලයක් හිමි කරගෙන ඇත.මාධ්‍යය සිය ආධිපත්‍යය තොරතුරු මත පවත්වා ගෙන යමින් තමන්ගේ උවමනාවන්ට හා ලැදියාවන්ට අනුකූලව තොරතුරු හැඩ ගස්වනු ලැබේ.අප සමාජයෙහි සියලු බලය යම්කිසි ආකිරයකින් තොරතුරු සමග සම්බන්ධ බව පෙන්වා දිය හැකිය.අධ්‍යතනයේ ජන මාධ්‍යය තොරතුරු කියාවලිය පාලනය කරමින් හා ඒ මත සිය ආධිපත්‍යය බලය හා බලපෑම පවත්වා ගෙන යමින් සමස්ත සමාජකරණ ක්‍රියාවලියට තීරණාත්මකව මැදිහත් වීමේ උපකරණයක් ලෙස සමාජය තුළ කටයුතු කරයි.මේ නිසා වර්තමාන මාධ්‍ය සාක්ෂරතාව වටහා ගත යුත්තේ හුදු තොරතුරු සම්ප්‍රේෂණය කරන මෙවලමක් ලෙස නොව එය සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික ක්‍රියාවලිය සමග බද්ධ වූ සමාජ බලවේගයක් ලෙසටය.

                                                වර්තමාන සංහතික මාධ්‍ය සන්දර්භය තුළ මෙය බරපතළ අභියෝගයක් ලෙස ඉදිරිපත් වන්නේ අධ්‍යතන ජන මාධ්‍ය කියාත්මක වන සමාජ,ආර්ථික,සංස්කෘතික ක්ෂේත්‍රයෙහි ආධිපත්‍යය දරන්නා වූ බටහිර ලිබරල්වාදී වාණිජවාදී ධනේෂ්වර තරගකාරී පමණක් නොව වෙනත් පොදු සමාජ නි‍යමයන්ගේ බලපෑම නිසාය.මේ අනුව මාධ්‍ය සාක්ෂරතාව යනු අඛණ්ඩ ක්‍රියාවලියක් වන අතර සමාජ අරගලයත් සමග ඉදිරිිිියට යන සමාජවබෝධය හා යථාවබෝධය පිළිබද ක්‍රියාවලියකි.මාධ්‍ය සාක්ෂරතාව හුදු මාධ්‍යය ව්‍යාකරණය තේරුම් ගැනීම පමණක් නොව සංහතික මාධ්‍ය සහ සමාජ යථාර්ථය අතර සක්‍රීය,නිර්මාණීය හා සාධනීය සම්බන්ධතාව ද අවබෝධ කර ගැනීමකි.

                                                 වත්මන් තත්ත්වය තුළ සංහතික මාධ්‍ය සාක්ෂරතාව අන් කවරදාකටත් වඩා වැදගත් කර්තව්‍යයක් බවට පත් ව ඇත.එනම් සමකාලීන සමාජ ක්‍රියාකාරිත්වය හා සංහතික මාධ්‍ය අතර සම්බන්ධතාව නිවැරදි වූත්,යථාර්තවාදී වුත්,විද්‍යාත්මකව හා විචාරාත්මකව අවබෝධ කර ගැනීම ජාතික වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද අනිවාර්ය සාධකයක් බවට පත් වී ඇත.ශ්‍රී ලංකාවද ඉහත ගෙනහැර දැක්වූ මානව සමාජ පරිණාමීය ක්‍රියාවලිය තුළ ඉදිරියට පරිණාමය වීමේ ප්‍රවණතාව ප්‍රවිශ්ට වී ඇත.ඒ නිසා සංහතික මාධ්‍ය ක්‍රියාකාරිත්වය අද අප සමාජය සදහා අන් කවරදාටත් වඩා ප්‍රමුඛ වුද,වැදගත් වූද කාර්යයක් බවට පත් වී ඇත.නමුත් අප රටේ මාධ්‍ය සාක්ෂරතාව,මාධ්‍ය අධ්‍යාපනය සම්බන්ධව තවම පුළුල් හා විද්‍යාත්මක පදනමක් ගොඩ නැගි නොමැත.විශේෂයෙන් සංහතික මාධ්‍ය සාක්ෂරතාව,සංහතික මාධ්‍ය අවබෝධය සම්බන්ධව අප පසු වන්නේ ප්‍රාථමික මට්ටමක බව සදහන් කළ යුතුය.


  


                                               














 
          











Comments

Popular posts from this blog

මාධ්‍ය සාක්ෂරතාවයෙහි ප්‍රධාන නිපුණතා

කැනඩා මාධ්‍ය සාක්ෂරතා සති්‍ය